Friday, October 19, 2012

උඩින් යන බලුප්....

අද දෙන්න හදන්නේ මට තියන තවත් උණකට සම්බන්ධ විස්තරයක්. මට වගේම ගැජට් ජානය තියන අයට නම් වැදගත් වෙයි.
අපි කව්රුත් දැකල තියනවනේ රෑ අහසේ ගුවන් යානා යනකොට ඒවගේ විවිධ පාට වල විදුලි බුබුළු තියනවා. ඒත් මොනවාද ගුවන් යානා වල තියන ඒක ඒක පාට විදුලි බුබුළු සහ ඒවගෙන් වෙන කාර්යයන්? ඒ ගැන පොඩි විස්තරයක් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ විදුලි බුබුළු පවතින ආකාරය ඒක ඒක ගුවන් යානා වර්ග මත වෙනස් වෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාතිකව පිළිගත් නීති රීති වලට අනුව සෑම යානයකම තිබිය යුතු විදුලි බුබුළු සහ ඒවායේ තිබිය යුතු ප්‍රමිතීන් තිබෙනවා.

md11-lighting5539-t1


















ඉහත පින්තුර දෙකේන් පළමු පින්තුරයෙන් දක්වා ඇත්තේ සැහැල්ලු ගුවන් යානයක හා හෙලිකොප්ටෙර් යානයක විදුලි බුබුළු සැලැස්මක්. දෙවන පින්තුරයෙන් විශාල මගී ප්‍රවාහන යානාවක  විදුලි බුබුළු සැකැස්ම දකින්නට පිළිවන්. දැන් අපි ඒ ඒක විදුලි බුබුල බැගින් ගෙන වැඩි විස්තර සොයා බළමු.



Navigation Lights -
Winglet_and_nav_light_arp
තටු අග ඇති නැවිගේෂන් ලයිට්
මේ බුබුළු වම් පස තටුවේ කෙලවර ඉදිරි පසින් රතු පැහැ බල්බයක්, දකුණු පස තටුවේ කෙලවර ඉදිරි පසින්  කොළ පැහැ බල්බයක් හා තටු දෙකේම කෙලවර පසු පසින් හෝ ගුවන් යානයේ පසුපස කෙලවර එනම් නැට්ට (Tail) ප්‍රදේශයේ සුදු පැහැ බල්බයක් ලෙසින් දකින්නට පිළිවන්. මේවයේ අරමුණ වන්නේ තවත් ගුවන් යානයකට තමාගේ ගුවන් යානය හොඳින් දර්ශනය වීමට ඉඩ සැලැස්වීමයි. එසේම මෙම වර්ණ ජාත්‍යන්තරව පිලිගත් වර්ණ වන අතර එමගින් අනෙක් ගුවන් යානය පැමිණෙන දිශාව ( තමා වෙත හෝ තමාගෙන් ඉවතට ආදී ලෙස) නිර්ණය කරන්න හැකි වෙනවා. මේවා ඒක දිගටම දැල්වී පවතිනවා. නීතියට අනුව හිරු බැසයාමට විනාඩි 30 කට පෙර සිට නැවත හිරු උදාවී විනාඩි 30 දක්වා කාලයේ මේවා අනිවාර්යයෙන්ම දැල්විය යුතුයි. එහෙත් දැනට පවතින සම්මතයකට අනුව ගුවන් යානය තුල යම්කිසි කාර්යයක් සිදුවේ නම් හෝ එයට විදුලි බල සැපයුමක් තිබේ නම් මෙම නැවිගේෂන් ලයිට්ස් ක්‍රියාත්මක කරනවා. ඒවා නිවාදමන්නේ යානයෙන් සියලුම දෙනා බැහැර වී යානය සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත කරනවා නම් පමණයි.

Beacon Lights -
මේවත් නැවිගේෂන් ලයිට්ස් වලටම අයත් වුවත් ක්‍රියාත්මක කිරීම ටිකක් වෙනස්. යානයේ උඩින් සහ යටින් මෙම විදුලි බුබුළු දෙකක් සවි කල යුතුයි. මේවා හෝ ස්ට්‍රොබ් ලයිට්ස්  1996යේ මාර්තු 11 වන දිනට පසු නිෂ්පාදිත සියලුම යානා අඩු දෘශ්‍යතාවක් සහිත කාලගුණ තත්වයන් යටතේ ගමන් කරන විට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමයි නීතිය. එය එසේ වුවත් සම්මතයට අනුව ගුවන් යානයේ එන්ජිම කියාත්මක කිරීමට පෙර සිට ( බිම සිටින්නන්ට ඒ බව දැන්වීමට ) නැවත එන්ජින් ක්‍රියා විරහිත කිරීම දක්වාම බීකන් ලයිට්ස් ක්‍රියාත්මක කරනවා. මේවා ගිලන් රථ වල මෙන් කරකැවෙන රතු පැහැ බල්බයකින් සමන්විතයි.  මේවයෙත් අරමුණ අනෙක් යානා වලට තම යානාව හොඳින් දර්ශනය කර ගැනීමයි.

Strobe Lights -
ගොඩ බැසීමට පැමිණෙන ගුවන් යානා නිවී නිවී දැල්වෙන අධික සුදු ආලෝකයක් නිකුත් කරන විදුලි බුබුළු ඔබත් ඇතැම් විට දැක ඇති. මේවා හඳුන්වන්නේ ස්ට්‍රෝබ් ලයිට්ස් යනුවෙන්. යානය ගුවන් ගත කරන ධාවන පථයට පිවිසීමට මොහොතකට පෙර ක්‍රියාත්මක කරන මෙම බල්බ නැවත නිවා දමන්නේ යානය ගොඩ බැස ධාවන පථයෙන් ඉවත් වූ පසුවයි. එනමුත් රාත්‍රී කාලයේ වලාකුළු තුලින් ගමන් කරනවිට ඇතැම් විට මේවා නිවා දමනවා. එයට හේතුව මේවයේ එලිය වලාකුලෙන් පරාවර්ථනය වී නැවත නියමු කුටියට පැමිනීමෙන් වන බාධාව මගහැර ගැනීමටයි. තටු වල අගට වන්නටයි මේවා සවි කරන්නේ. අධික දීප්තියකින් යුක්ත වන මෙම බල්බ සුදු පැහැයක් ගන්නවා. බොහෝ විට බෝයින් සමාගමට නිෂ්පාදනය කරන යානා වල මේවා සමාන කාල පරතරයකින් නිවී නිවී දැල්වෙන අතර එයාර් බස් සමාගමේ නිෂ්පාදිත යානා වල මෙම බල්බ ඒක වරම දෙවරක් දැල්වී නැවත සුළු විරාමයකින් නැවත දෙවරක් දැල්වෙන ලෙසයි සකසා ඇත්තේ. දුර සිටම ගුවන් යානයක් නිෂ්පාදිත සමාගම දැනගැනීමට මෙය භාවිත කල හැකියි. එසේම ගුවන් යානයක් ගුවන් ගත කිරීමට සැරසෙන විට මෙම බල්බ ක්‍රියාත්මක කරන නිසා එය දැනගැනීමටත් යොදාගත හැකියි.
ස්ට්‍රොබ් ලයිට් හා බිකන් ලයිට් එක්ව ගත් කල Anti Collision Lights ලෙස හඳුන්වනවා.

Landing Lights -
screen746ps3
ලෑන්ඩින් ලයිට්ස් සහ ස්ට්‍රොබ් ලයිට්
මෝටර් රථයක ප්‍රධාන ලාම්පු වලින් කෙරෙන කාර්යය ඉටු කරන මෙම විදුලි බුබුළු යානාව ගොඩබාන විට සහ ගුවන් ගත කරන විට ධාවන පථය දැක ගැනීමටයි යොදා ගන්නේ. රෝද වලට හෝ යානාවේ බඳ කොටසට මේවා සවි කෙරෙනවා. ගුවන් ගත කරන ධාවන පථයට ඇතුළු වීමට පෙර මේවා දල්වන අතර රෝද වල සවි කර ඇත්නම් රෝද හකුලා ගත් විටත් බඳට සවි කර ඇත්නම් අඩි 10000 පසු කෙරිමේදීත් නිවා දමනු ලබනවා. මේවා කහ පැහැ හෝ සුදු පැහැයක් ගන්නා අධික දීප්තියකින් යුතු බල්බ.

Taxi Lights හා Runway Turn Off Lights-
මේවා රාත්‍රියට ගුවන් නියමුවන්  ගුවන් තොටුපලේ මග සොයා ගැනීමට භාවිත කරනවා. එසේම ගොඩබිම් කාර්ය මණ්ඩලයට තම යානය තනිව ගමන් ඇරඹීමට සුදානම් බව පෙන්වීමටත් ටැක්සි ලයිට්ස් දල්වන අතර ධාවන පථයට පැමිණි පසුව මේවා නිවා දමනවා. මේවා කහ, සුදු පැහැයෙන් යුක්තයි.

තවද Logo Lights නමින් හඳුන්වන තම ගුවන් සේවා ලාංචනය ආලෝකමත් කිරීමට භාවිත කරන බල්බ සහ Wing Lights නම් තටු වල මතුපිට නිරීක්ෂණයට යොදා ගන්නා විදුලි බුබුළු විශාල මගී ප්‍රවාහන යානා වල දකින්නට තිබෙනවා.

මම ගුවන් නියමුවෙක් නම් නෙවෙයි ඒත් මගේ උණට සෑහෙන කාලෙක ඉඳල බෙහෙත් ගන්න නිසා මේවා ගැන ටිකක් විතර දන්නවා. මීළඟ වතාවේ ගුවන් යානයක් දකිනකොට පොඩ්ඩක් බලුප් දිහාත් බලන්න. ඒවායෙන් යානයේ වර්ගය, ගමනේ මොන කොටසේද පසුවන්නේ යනාදිය නිගමනය කරන්න පුළුවන්.

මේ තාක්ෂණික වචන වලට සිංහල වචන සොයා ගන්න අපහසු වූ නිසා ඉංග්‍රීසියෙන්ම ලියුවා.

6 comments:

  1. මං බෝයින් එහෙක පවෙනි පාරට ගියේ මේ පාර එද්දි ඕමාන් එයා එකේ. ඒ වෙනකං හැමදාම එයා බස් තමයි! :)

    ReplyDelete
  2. මමත් ගොඩක් වෙලාවට බස් තමයි. බෝයින් වල 2 පාරක් ගිහින් තියනවා. ස්ට්‍රොබ් ලයිට් ඒක දිහා බැලුවේ නැතෙයි???

    ReplyDelete
  3. ෂඃ! අපූරු ලිපියක්!
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... ඔයාටත් ගැජට් ජානය තියනවා වගේ.......

      Delete
  4. වෙනස්ම ලිපියක්.. ඒක හොඳයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා ඔබතුමාටත්. තවත් මේ වගේ ඒවා ලියන්නම්කෝ......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...