Tuesday, October 2, 2012

ජේස්සොරේ, කල්කටා, චෙන්නායි හරහා ශ්‍රී ලංකාව 2


මම දැන් මේ කියන්න යන්නේ අපේ දින 3ක ගමනේ දෙවන කොටස ගැන. එතරම් රසවත් නැතත් මා ලැබූ අලුත් අත්දැකීමක් නිසාම මේ ගැන බ්ලොග් සටහනක් කරන්නට සිතුනා. මේ කොටසේ ඇත්තේ බංගලාදේශයේ සිට ගොඩබිම් දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීම සහ කල්කටා නගරයට පිවිසීම ගැන.

ඩකා නගරයෙන් මෙතෙක් වෙලා පැමිණි බසයෙන් බැස තවත් ඒ වර්ගයේම බසයකට ගොඩවන්න අපට සිදු උනා. මේ බසයේ සිටියේ අපි තිදෙනාත් ඇතුලත්ව 7 දෙනෙක් පමණයි. ඉතින් ඉතාමත් සුව පහසුව ගමන් කරන්නට අපට හැකිඋනා.

ගමනේ මේ කොටසේ තිබෙන විශේෂත්වය තමයි පද්මා නදිය හරහා පාලම් පාරුවකින් එගොඩ වන්න සිදුවීම. පාලම් පාරුවක් කිව්වට මේක පාරුවක් ම නෙවෙයි නැවක් වගේ. මමත් ඉතාමත් අපහසුවෙන් නිදිමත වලක්වා ගනිමින් මේ පාරු ගමන අත්විඳීමට බලා සිටියා. ගංගාවේ එක් ඉවුරක් කරා පැමිණි බස් රථය එකවර බස් 15ක් පමණ ගෙනයා හැකි විශාල යාන්තික පාරුවකට ඇතුල් කරනු ලැබුවා. ගමන ඇරඹෙනවා වත් දකුණේ නෑ. ගමන් කරනවා යැය් සිතා ගැනීමට හැකි වූයේ අවට ඇති විදුලි බුබුළුවලින්. විනාඩි 45ක් පමණ මෙසේ ගමන් කර අවසානයේ අනෙක් ඉවුරට සේන්දු වනවා වත් අපට දැනුනේ නෑ.

ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි ගමන් කර ජේස්සොරේ නගරයට එන විට වෙලාව උදැසන 6.30යි. පැය කීපයක් සුව නින්දක පසුවූ මට ගමනේ මේ කොටස ගැන නම් පැහැදිලි මතකයක් නෑ.

ජේස්සොරේ නගරය පසුකොට බෙනාපෝල් නමින් හඳුනන නගරයෙන් බංග්ලාදේශ බස් ගමන අවසාන වෙනවා. ඒ 17ත් වනදා උදේ 8 ට විතර. ඉන් පසු බංග්ලාදේශ දේශ සිමාවේ රේගු කටයුතු නිමා කර No man’s land යන රටවල් දෙකටම අයිති නැති භුමි සීමාවට පැමිණිය යුතුයි. අපගේ ගමන් මලු ඔසවාගෙන යාමට බස් සමාගම මගින් සේවකයන් ද සපයා තිබුනා. No man’s land කිව්වත් මේ කොටසේ අතුරු සිදුරු නැතිව මිනිසුන් පිරී සිටියා. ඒ වගේම කුඩා පෙට්ටි කඩ කීපයක් ද දමාගන්නට ඔවුන් අමතක කර තිබුනේ නෑ. ඉන්දියාවට අයිති කොටසට ඇතුළු වන්නේ මින් පසුවයි. ඒ නගරය හදුන්වන්නේ පෙට්රාපොල් නමින්. එහිදී නැවත අපගේ ගමන් බලපත් ආදිය පරික්ෂා කිරීමෙන් අනතුරුවයි අපට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලැබුනේ.
මේ තියෙන්නේ පෙට්රාපොල්

මේ නගරයෙන් අප ගමන් කල බස් රථය අයත් බස් සමාගමටම අයත් තවත් බස් රථයක් ගමනේ ඉතිරි කොටස සම්පුර්ණ කිරීමට මේ නගරයේ නවතා තිබෙනවා. ඒ බස් රථය උදෑසන 11 ට පමණ ගමන් ආරම්භ කරා. කිලොමීටර් 80 ක දුරක් දෙක හමාරකින් පමණ නිමාකර කල්කටා නගරයට පැමිණෙන විට වෙලාව දහවල් 1.30 පමණ වී තිබුනා.
කල්කටා නගරය ඉතාමත් ජනාකීර්ණ ඉතාමත් නාගරීකරණයට ලක්වූ නගරයක්. ගුවන් පාලම ආදියෙන් සපිරි දියුණු මාර්ග පද්ධතියක් මේ නගරයේ තිබුනා. එහෙත් දකුණු ආසියානු රටකදී දැනෙන ඒ වචනයෙන් විස්තර කල නොහැකි හුරු පුරුදු හැඟීම නම් නොවෙනස්ව මෙහිදීත් අපට දැනුනා. බස් රථය ගුවන් තොටුපල ආසන්නයෙන්ම ගමන් කරන නිසා ටැක්සියකට රුපියල් 100 දී ගුවන්තොටුපල පිටත් වීමේ පර්යන්තයට යන්නට අපට හැකි උනා.
මෙලෙසින් 2 වන කොටසත් නිමවන අතර 3 වන හා අවසාන කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඡායාරුප ලබාගන්න නොහැකි උනේ ගමනේ කලබලකාරී බව නිසයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...