Thursday, September 27, 2012

තේ කොළ සහ කොළ තේ


ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම දෙනාම තේ හැදීමට සහ තේ බීමට ඉතාමත් දක්ෂයින්. එහෙත් Green Tea එහෙමත් නැත්තම් හරිත තේ ගැන අපි කතා වෙන්න පටන් ගන්නේ මෑතක පටන්. මේ ලිපිය හරිත තේ පිළිබඳව හෝ එහි ගුණ දොස් විස්තර කරන ලිපියක් නම් නොවේ. ඒ ගැන ඔබලා බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇතැයි මා සිතනවා. මේ ලිපියෙන් මා අරමුණු කරගන්නේ රසවත් හරිත තේ කෝප්පයක් සාදාගන්න ආකාරය පිළිබඳව කුඩා උපදෙස් කිහිපයක් ලබාදීමයි.
එහෙත් හරිත තේ යනු කුමක්ද යන්න පිළිබඳව කුඩා හෝ විස්තරයක් නොකලොත් මේ ලිපිය සම්පුර්ණ නොවේ යැයි කියා මා සිතන නිසා ඒ ගැන කුඩා විස්තරයක් මෙසේ ඔබට ඉදිරිපත් කරන්නම්.

හරිත තේ අප සාමාන්‍යයෙන් බොන කළු තේ එහෙමත් නැත්තම් Black tea වලින් වෙනස් වන්නේ කළු තේ මෙන් හරිත තේ දළු ඔක්සිකරණයකට ඉඩක් ලබා නොදීම නිසයි. කලු තේ නිෂ්පාදනය කිරීමේදී තේ දළු ගොඩ ගසා ඔක්සිකරණය වීමට ඉඩ ලබදීමෙනුයි එහි ඇති දුඹුරු පැහැය ලබාදෙන්නේ. එහෙත් එසේ ඔක්සිකරණයට ලක් නොකරන නිසා හරිත තේ කොළ පැහැයෙන් එසේත් නැත්තම් හරිත පැහැයෙන් යුක්තයි. මේ හේතුව නිසාම එහි අඩංගු වන ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයත් සාමාන්‍ය තේ වලට වැඩ වැඩියි. හරිත තේ වල ඇති ලෙඩ රෝග වැළක්වීමේ ගුණය ගැන ඉහලින්ම කතා වන්නේත් මේ හේතුව නිසාමයි.

ඉහත කුඩා විස්තරයෙන් පසුව අපි දැන් බලමු ප්‍රනීත හරිත තේ කෝප්පයක් සාදාගන්නේ කෙසේද කියා. ඉතාම විද්‍යාත්මකව හා සාම්ප්‍රදයනුකුලව හරිත තේ සකස් කරන සංකීර්ණ ක්‍රම ඇතත් මා මෙහිදී සරල සැමට පහසුවෙන් කල හැකි මා විසින්ද අතහදා බලා සාර්ථක වූ ක්‍රමයකට ඔබගේ අවධානය යොමු කරන්නට මා කැමතියි.


 
 
 
 
1. ඉතා ඉහල මට්ටමේ ඉහල මිලගණන් වලට අලවි වන හරිත තේ නිෂ්පදන ඇතිමුත් සාමාන්‍ය අපට වුවත් එය දෙයාකාරයෙන් මිලදී ගත හැකියි. ඒ තේ දළු ලෙස හෝ තේ බෑග් ලෙස සකසා. තේ කොළ ලෙස ලබාගන්නා හරිත තේ වඩාත් ප්‍රනීත වුවත් තේ බෑග් වල ඇති පහසුව නිසා බොහෝ දෙනා එය මිලදී ගන්නට පෙලබෙනු දකින්නට පිළිවන්. කෙසේ හෝ සපයා ගත්තේ තේ කොළ නම් තේ හැන්දක ප්‍රමාණයක්ද තේ බෑග් නම් එක බෑගයක් ද තේ කෝප්පයක් සෑදීම සඳහා අපට අවශ්‍යයි.

2. මීළඟට උණු වතුර සපයා ගත යුතු අතර මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ නිසි උෂ්ණත්වයේ පවතින ජලය සපයා ගැනීම පිළිබඳවයි.හරිත තේ සඳහා නිසි උෂ්ණත්වය තේ වර්ගයෙන් වර්ගයට වෙනස් වුවත් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 70 ත් 80 ත් අතර උෂ්ණත්වයක් මේ සඳහා සෑහේ. කිසි විටෙක උතුරන ජලය මෙහෙදී යොදා නොගැනීමට වගබලා ගත යුතු අතර එසේ වුවොත් සිදුවන්නේ තේ දල්ලෙහි අඩංගු ටැනීන් නම් සංයෝග නිදහස් වීම නිසා තේ බඳුන තිත්ත රසයකින් යුක්ත වීමයි. අප බොහෝ දෙනා හරිත තේ අතහරින්නට ප්‍රධාන හේතුවත් මෙයයි. නිසි උෂ්ණත්වයෙන් යුතු උණු ජලය සපයා ගන්නට ක්‍රම දෙකක් ඇත එකක් නම් උෂ්නතවමානයක් මගින් නිසි ප්‍රමාණය තීරණය කිරීමයි. අනෙක නම් මාද අනුගමනය කරන පරිදි හිතේ මිම්මට ජලය උණු කිරිමයී. ජල බඳුන උතුරාගෙන එන විට පළමු බුබුල නැගෙන අවස්ථාවේ එම ජලය ගැනීම මවිසින් සිදු කරන අතර ජලය නැටූ පසු එය විනාඩි කිහිපයක කාලයක් විවුර්තව තබා උණුසුම අඩුවූ පසු ගැනීමත් කල හැකිය.

3. මෙසේ සකස් කරගත් උණු ජලය තේ කෝප්පයකට දමා එයට තේ කොළ තේ හැන්දක ප්‍රමාණයක් හෝ තේ බෑග් එකක් දමා පියනකින් වසා තත්පර 30ත් විනාඩි 3ත් අතර කාලයක් තබා ගත යුතුයි. මෙම කාලය තේ වර්ගයෙන් වර්ගයට වෙනස් වන අතර සාමාන්‍යයෙන් තේ කොළ එසේ තබා ගත යුත්තේ තේ බෑග් වලට වඩා අඩු කාලයක්. මෙය කිහිප වරක් කර අත්දැකීමෙන් නියමිත පදම සකසාගත හැකිය.
ඉන් පසු තේ බෑගය ඉවත් කර හෝ තේ දළු පෙරා පසෙකින් තබාගන්න. හේතුව පසුව කියන්නම්.

4. දැන් මෙය පානය කල හැකියි. ඔබට අවශ්‍ය නම් සිනි එක්කර ගත හැකි වුවත් වැඩි ප්‍රමාණයක් එක් කිරීම මගින් තේ වල සැබෑ රසය මැකී යන්නට ඉඩ තිබේ. තේ හැන්දක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සෑහේ.

5. පෙරදී පසෙකින් තබාගත් තේ බෑගය හෝ තේ කොළ වලට නැවත වරක් පෙර පරිදිම උණු ජලය දමා තවත් කිහිප වාරයක් රසවත් තේ කෝප්ප සාදාගත හැකි නිසා ඔබගේ පසුම්බියටත් එය පහසුවක් වේවි.

Tuesday, September 25, 2012

එකක් වම් පැත්තේ අනික දකුණු පැත්තේ

මේ මම කියන්න යන කතාව නම් අපේ විශ්ව විද්‍යාලයේ සිදු වුන එකක් ලු. ලු කිව්වේ මම ඒක වෙනකොට එතන නොහිටපු නිසා.

මේ කතාවේ කතා නායකයා ටිකක් මහලු වියේ පසු වන මහාචාර්ය වරයෙක්, ජෛව රසායන විද්‍යාව පිලිබඳ ආසියවේ සිටින ප්‍රධාන පෙලේ මොළ කාරයන් ගෙන් එක්කෙනෙක්. ඒ වගේම සුපිරි මනුස්සයෙක්. තම සිසුන් ගැන සානුකම්පිතව සිතන ගුරුවරයෙක්. නත්තල් සීයා ගේ වගේ රැවුල නිසා කට්ටිය සැන්ටක්ලොස් කියල කිව්වේ ආදරේට.

ඔන්න එක වාචික පරීක්ෂණයක් අතරෙදී එක්තරා සිසුවෙකට මෙම මහාචාර්ය වරයට මුහුණ දෙන්න සිදු උනා. මේ සිසුවත් ටිකක් විතර මීටරේ අවුල් එක්කෙනෙක්.
කිහිප පාරක් විභාගය කරලත් සමත් වෙන්න බැරි වෙලා කීප පාරක්ම කණ්ඩායම මග හැරුන එක්කෙනෙක් (Batch miss). ලංකාවේ කෙනෙක් නම් නෙවේ. ඔන්න මෙයාගේ වාරය ආවම අර කලින් කියපු මහාචාර්ය වරයා බලල තියනවා මෙයාගේ රෙකෝඩ් එක. ඉතින් මේ සැරේ වත් කොහොම හරි පාස් කරන්න හිතිලා අහල තියනවා ලේසි ප්‍රශ්නයක්.

Now son can you tell me how many kidneys are there in the human body? ( මිනිස් සිරුරේ වකුගඩු කීයක් තියනවද?)

දැන් අපේ කොල්ලත් හොඳට ටිකක් වෙලා කල්පනා කරලා එහෙම කියපි

One sir (එකයි සෑර්)

මදැයි කොරා. අපේ පොඩි එකෙක් ගෙන් ඇහුවත් හරියට කියයි උත්තරේ.
දැන් ඒ පාර සර් කල්පනා කරලා කරලා මුට කලබලේට පැටලිලා වත් ද කියල හිතල කියනවා

Correct son One in the left side one in the right side isn't it ( ඔව් හරි, එකක් දකුණු පැත්තේ අනික වම් පැත්තේ නේද?)

අපේ කොලුවත් ඇරියේ නෑ. මේක නම් මාව අමාරුවේ දාන්න කරපු වැඩක් ද කොහෙද කියල හිතල මෙන්න මෙහෙම කිව්වලු.

No no sir one in the mid line sir (නෑ සර්. එකයි තියෙන්නේ මධ්‍ය රේඛාවේ)

මූ මෙහෙම කියනකොට අපේ මහාචාර්ය තුමාට වයසත් අමතක වෙලා හොඳ අමිශ්‍ර වචන ටිකක් මතක් වෙන්න ඇති



 

ජේස්සොරේ, කල්කටා, චෙන්නායි හරහා ශ්‍රී ලංකාව 1


මම මේ කියන්න හදන්නේ මම ජීවිතේ ගිය දිගම ගමන ගැනයි. මම ඉගනගන්නේ බංග්ලාදේශයේ. අපිට විභාග කියන දේ අමුත්තක් නැති උනාට මේ පාර තියන එක නම් අපේ භාෂාවෙන් ටිකක් සීරියස්. ඒ නිසා ඒක  කරන්න හිත හදාගන්න කියල හිතාගෙන තමයි ලංකාවට එන ගුවන් ටිකට් වල ගාන බැලුවේ. එක පැත්තකට විතරක් රුපියල් 42000ක්. තවම වැඩි වයසක් නැතිනිසා නොවෙන්න හාට් ඇටෑක්  එකක් එනවා සුවර්. මිහින් ලංකා බජට් උනාට ගිනි ගණන්. ඩකා ඉඳල ලංකාවට පැය දෙක හමාරයි එත් ගාන සැරයි. මොනවා කරන්නද ඉතින් අපිට එයාර් ලයින් නෑනේ.කොහොමින් කොහොමින් හරි පාඩම් කරන්න තිබුන වටිනා දවස් දෙක තුනක් වැය කරලා ලාබෙට එන්න පාරක් හොයා ගත්තා. වියදම බාගයයි 

පාර තමයි මම ඉන්න චිතගොන්ග් නගරේ ඉඳල ඉන්දියාවේ කල්කටා නගරෙට එනවා බස් එකේ. ඒ ගමනට පැය 20ක්. එතන ඉඳන් චෙන්නායි නගරෙට උඩින් එනවා එතනින් ලංකාවට. චෙන්නායි වල තිබුන ප්‍රශ්නත් අමතක කරලා මේ ගමන එන්න ලෑස්ති උනේ රට තොට බලන්න තිබුන ආසාවටත් එක්ක. අන්තිමට  විභාග ඉවර වෙලා වීසා අවසර පත්‍ර එහෙමත් අරගෙන එන්න ලෑස්ති උනා. බස් එකේ එන ගමන්  කන්න එක්කෙනෙකුට  සැමන් දාපු පාන් රාත්තල් 2ක් එහෙම හදාගෙන මමයි මගේ යාළුවො දෙන්නෙකුයි බස් පිටත් වෙන  වෙලාව වන ප.ව 2 30 ත් කලින් බස් ඒක ගාවට අවා. 

මෙන්න බස් එකේ පස්ස පැත්ත සහ මම
 
 















බස් එකක් කිව්වට මේක අපේ රටේ තියන ලේලන්ඩ් බස් එකට වැඩ සැප පහසුයි. හිතල බලන්නකෝ  ලේලන්ඩ් එකක  පැය 20ක් විතර  වාඩි වෙලා ඉන්නවා කියන එක. ඔන්න  බස් එක පිටත් වෙලා මග එනවා දැන් ඩකා වලට යන පාරේ. අපේ රටේ  රියදුරු මහත්තුරුන්ට අපි බනිනවා විනයක් නෑ කියල එත් මෙයාලගේ වාහන එලවිල්ල බැලුවම අපේ අය 100 ගුණයක් හොඳයි කියල හිතෙනවා. පාරේ වැඩිපුර යන්නේ වැරදි පැත්තෙන් ඒ මදිවට යන්නෙත් එකසිය ගානට. 

පන බේරාගෙන ඩකා නගර දොරටුව ගාවට එනකොට වෙලාව රෑ 9ත විතර ඇති. එතන ඉඳල වාහන පෝලිම නගරෙට ඇතුල් වෙන්න. පැයකට කිලෝමීටර් 1ක් වත් යන්නේ නැති තරම්. පැය 3ක් විතර ගොලුබෙලි ගමනින් කිලෝමීටර් 3ක් විතර ඇවිත් අන්තිමීදී ගමනේ පළමු අදියර වූන ඩකා බස් නැවතුමට අවා.

මුළු කොටසටම පැය 10යි දුර කිලෝමීටර් 212යි 

ඔන්න එකක් නම් ලියල අහවරයි. වැරදි තිබේ නම් කියවන්නෝ මට සමා වෙත්වා  


මතු සබැඳී  

ආරම්භය

දෙලොවක් අතර - කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඕනේ කමක් තිබුනත් සිංහල කොටන්න තියන නොහැකියාව නිසා එක අත් ඇරලා දාන්න සිද්ධ උනා. එත් ගුගල් එකට  පින් සිද්ධ වෙන්න දැන් නම් වැඩේ ලේසියි.
තියන වැඩත්  එක්ක මේක මම කොච්චර දුරට කරයිද කියල නම් කියන්න බෑ එත් කමක් නෑ පුළුවන් විදියට මොනවා හරි ලියල යන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් කියවල බලල හරි වැරදි කියන්නත් අමතක කරන්න එපා.

ඔන්න කොහොම කොහොම හරි පලවෙනි එක ලිව්වා. දැන් බලන්න ඕනේ ඊළඟට මොනවද ලියන්නේ කියල. 
Related Posts Plugin for WordPress, Blogger...